පානදුර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ඉන්දුනීසියාවේදී ඊයේ අත්අඩංගුවට ගැනුණු එක් සැකකරුවෙකු වන පානදුර නිලංග නැමැත්තාගේ බිරිඳගේ පියා බවටයි හඳුනාගෙන ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඔහුගේ නිවස තුළම මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්ව ඇති තැනැත්තා නිවසේ නිදා සිටියදී යතුරුපැදියකින් නිවස ආසන්නයට පැමිණි දෙදෙනකු ඔහුගේ නම කියා කතා කොට අදාල නිවසේ දොර විවෘත කිරීමත් සමග එම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ හිසට සහ ගෙල ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවද පොලිසිය පැවසුවා.

එම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගිනි අවියෙන් නිකුත් වූ හිස් කොපු රැගෙන ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.