ජුනි මාසයේ අයි සී සී ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ නම නිර්දේශ වී තිබෙනවා.
ඒ, බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරඟාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින්.
බංග්ලාදේශයට එරෙහි ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී පැතුම් නිස්සංක ලකුණු 187ක් රැස් කළ අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවති දෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.
ජුනි මාසයේ අයි සී සී ක්‍රීඩකයා ලෙස නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ඒඩ්න් මාක්‍රම් සහ කගිසෝ රබාඩායි.
ඉකුත් ජුනි මාසයේ පැවති අයි සී සී ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟයේ දෙවන ඉනිමේදී ලකුණු 136ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට ඒඩ්න් මාක්‍රම් සමත් වුණා. ඒ, එම තරඟයේ වීරයා සම්මානයද හිමි කරගනිමින්.
එම තරඟයේදී පන්දුවෙන් දක්ෂතා දැක්වූ කගිසෝ රබාඩා සමස්ත තරඟයේදී ලකුණු 110කට කඩුලු 09ක් දවා ගැනීමට සමත් වීම හේතුවෙන් ජුනි මාසයේ අයි සී සී ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී සිටිනවා.
මේ අතර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය පස්වරු 02: 30ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ දෙකෙන් එක් තරඟය බැගින් ජය ගැනීමට කණ්ඩායම් දෙකම සමත්ව සිටීම හේතුවෙන් තරඟාවලියේ ජයග්‍රහණය මෙම තරඟයේ ප්‍රතිඵලය මත තීරණය වනවා.
ඒ අනුව අද තරඟය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.
බොහෝදුරට පළමු තරඟ දෙකට ක්‍රීඩා කරන පිතිකරන ලැයිස්තුව අද තරඟයේදීද එලෙසින්ම යොදා ගැනීමට ඉඩකඩ පවතින බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පැවසුවේ.
තණ තීරුවේ ස්වභාවය අනුව දෙවන තරඟයට ක්‍රීඩා කළ එක් දඟ පන්දු යවන්නෙකු වෙනුවට වේග පන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීමට ඉඩකඩ ඇති බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.