ඩුබායි හි පැවති 2025 ආසියානූ යොවුන් පැරා ශූරතා තරගාවලියට ( Asian Youth Para Games - 2025 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන අද(15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 12/07 දින සිට 12/14 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පවත්වා තිබුණා.

එම තරගාවලියේ දී ඩිල්මිණි උදුම්බරා කුමාරගේ ක්‍රීඩිකාව කවපෙත්ත විසි කිරීම සහ යගුලිය දැමීම ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී ඇති අතර ඩිල්මිණි කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ 12 ශ්‍රේණිය කළා විෂය ධාරාව හදාරන සිසුවියක් ද වනවා.

එසේම එම තරගාවලියට සහභාගී වූ සෙනුවර සන්දිලු මීටර් 100 ධාවන ඉසව්වෙන් රන් පදක්කම සහ දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී ඇති අතර සෙනුවර අතුරුගිරිය මහාමාන්‍ය විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ද වනවා.

මෙම තරගාවලියේ දී මොහොමඩ් ඉස්හාම් ‍යූනුස් මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද(15) අලුයම 12.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන් ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල සිසුන් ගුරු භවතුන් විදුහල්පතිවරුන් මෙන්ම ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.