ඇල්ල ප්‍රදේශයට සංචාරකයින් රැගෙන පැමිණෙන පිටස්තර කුලී රථ රයදුරන්ට හා එම රථවලට පහර දීමේ සිද්ධීන් දෙකකට සම්බන්ද සැකකරුවන් තුන් දෙනෙකු මෙම මස 29 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ඉරිදා ඇල්ල ප්‍රදේශයට සංචාරකයන් රැගෙන පැමිණි වෙනත් ප්‍රදේශයක රියදුරෙකුට සහ ඔහුගේ මෝටර් රථයට ඇල්ල ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පහර දී තිබුණා.

එවැනි ප්‍රවාහන සේවාවන් සපයන රියදුරු කාන්තාවකටද පහර දී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී තිබූ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මෝටර් රථයේ රියදුරුට පහර දීමට තැත් කිම හා මෝටර් රථයට අනර්ථය සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ රියදුරු කාන්තාවට පහර දී මුදල් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඇල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වූ අතර අදාළ අවස්ථාවේදී ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔවුන්ට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවා.