2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ මාස 6ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනු ලබනවා.

කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 88,684 කි.

මෙම මාස 6 ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයින් 55,695 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සදහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 38,806 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයින් 28,973 දෙනෙකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 21,958 දෙනෙකුද මෙම කාලය තුළදී පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී තිබෙනවා.

ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් 6,073ක් ද, දකුණු කොරියාවට 3,134ක් ද රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 6 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 3.73ක ප්‍රේෂණ මෙරටට එවා ඇත.

පසුගිය වසරේ මුල් මාස 6 තුල විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.14 ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 18.9 න් ඉහළ ගොස් තිබෙනවා.

එසේම 2025 වසරේ ජූනි මාසය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 635.7 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති අතර 2025 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 7 ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාසය පළකරනවා.