පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට ඇතුළුවීමට තැත් කිරීමේදී ඔහු හදුනා ගෙන ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. මොහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. මෙම චීන ජාතිකයා සංචාරක වීසා අනුකාණ්ඩයක් වන ව්‍යාපාරික කාණ්ඩය යටතේ වීසා ලබා ගෙන මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සදහා පැමිණෙන බව කටුනායක ආගමන කවුළුව වෙත ප්‍රකාශ කර තිබුණ ද එහිදී තමන් දරන තනතුර පිළිබද පැහැදිලි නිශ්චිත තොරතුරක් සැපයීමට අපොහොසත් වී තිබෙනවා. ඒ අනුව මෙම චීන ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා මගින් එම දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කර තිබුණා. එහිදී ඔහු සන්තකයෙහි තිබී පිලිපීන රජය විසින් නිකුත් කළ හැදුනුම්පතක් සොයා ගැනීමට හැකි වී තිබූ අතර එහි පිලිපීනයේ "පැරනාකිව් " ප්‍රදේශයේ පිහිටි නම් දැරූ පරිගණක වංචා මෙහෙයවන මධ්‍යස්ථානයක මොහු සේවය කර ඇති බවත් මේ වනවිට එම මධ්‍යස්ථානය පිලිපීනයේ ආරක්ෂක මගින් වටලා ඇති බවත් ඒ පිළිබද දර්ශන යූ ටියුබ් සාමාජ මාධ්‍ය ඔස්සේ එරට ආරක්ෂක අංශ විසින් ලොව පුරා විකාශනය කර ඇති බවත් එම නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම චීන ජාතිකයා ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීම සදහා එයාර් ඒෂියා ගුවන් සේවය වෙත භාර දීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.