කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ තද සුළං පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, හෙට උදෑසන තෙක් වලංගු වන පරිදියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50ත් 60ත් පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඊයේ දිනයේ පැවති පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 800ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවති අතර එය අද දවසේ ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී හෙට දිනය තුළදී සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු කරුණු දැක්වුවා.

මේ අතර, පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඉන් පවුල් 7,395කට අයත් පුද්ගලයින් 29,414 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

කාලගුණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළු සහ ගිං ගඟ තවමත් ගංවතුර අවදානම් මට්ටමක පවතින බවයි. ඒ අනුව එම ප්‍රදේශ ආශ්‍රිත පහත් බිම්වල පදිංචිකරුවන් ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනකාවගෙන් ඉල්ලා සිටියේ.

දිස්ත්‍රික්ක 11කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනද තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පැවසුවේ.