දිට්වා සුළි කුණාටුව හා පැවති ආපදා තත්ත්වය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතා ලබා දිය යුතු බවත්, හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්‍ෂේත්‍ර යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද උපදෙස් ලබාදුන්නා.
වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කළා.
ඒ, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.
බිද වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ රාජ්‍ය නිලධාරින් සිදු කළ මහත් කැපවීමද ජනාධිපතිවරයා එහිදී අගය කළා.
එම කැපකිරීම් හමුවේ විදුලිය ජලය සහ මාර්ග වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් මේ වන විට ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවූ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදි පැවසුවා.
මේ අතර ආපදාවට ලක් වූ ජනතාවට මෙතරම් ඉහළ වන්දි මුදලක් ලබාදීමට රජයට හැකි වූයේ රජය පවත්වාගෙන යන ශක්තිමත් මුල්‍ය විනය නිසා බවද ජනාධිපතිවරයා පැවසුවා.
මෙතෙක් දීමනා සහ ආධාර ලබාදීමේ දී මතුවු ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ වන්දි ලැබිය යුතු අයටම හිමි විය යුතු බවත්, කිසිදු අවස්ථාවක එම ප්‍රතිපත්තිය බිඳ වැටීමට ඉඩ නොතබන ලෙසත් ඒ සඳහා පූර්ණ ලෙස මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.




