පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සියයට 50කට වැඩි බහුතර බලයක් කිසිදු දේශපාලන පක්ෂකයට හිමි නොවූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටු වීම සඳහා එම ආයතනවල ප්‍රධානීන් පත් කර ගැනීම අද සිදු වුණා.

ඇතැම් පළාත් පාලන ආයතනවල ඒ සඳහා පැවති ඡන්ද විමසීම් උණුසුම් මුහුණුවරක් ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

එවැනි උණුසුම් තත්ත්වයක් මධ්‍යයේ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගත්තේ ජාතික ජන බලවේගයයි.

උතුරුමැද පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මැදවච්චිය ප්‍රාදේශිය සභා පරිශ්‍රෙය්දී එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත් වුණා.

සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10 දෙනෙකු තේරී පත් වූ අතර සෙසු දේශපාලන පක්ෂ කිහිපයකින් සභිකයින් 11 දෙනෙකු තේරී පත් වුණා.

අද පැවති ඡන්ද විමසීමේදී සභාපතිවරයා තෝරා ගැනුනේ රහස් ඡන්දයකින්.

ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට යාමේදී ඇති වුණේ මෙවන් සංවාදයක්.

ඒ අනුව, පැවැත් වූ රහසිගත ඡන්ද විමසීමේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයේ ධනපාලගේ විමලතුංග මහතාට හිමි වුණා.

උපසභාපති ධූරය සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අතර එම ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රංගන සෝමදාස මහතාට හිමිවීම විශේෂත්වයක් වුණා.

මෙම ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කියා සිටියේ සභාපතිවරයා තේරීමේදී පළාත් පාලන කොමසාරිස්වරයා ක්‍රියා කළ ආකාරය ගැටලු සහගත බවයි.

පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත් කර ගැනීම සඳහා රහස් ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය අද සමත් වුණා.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ සභාපති ධූර අපේක්ෂකයා බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයගෙන තිබෙනවා.

මේ අතර යාපනය මහනගර සභාවේ බලය පිහිටු වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමත් වී තිබෙනවා.

ඒ අනුව විවේකානන්දරාජා මදිවදනි යාපනය මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.