පළාත් පාලන ආයතන මැතිවරණය ඉකුත් දා අවසන් වුවද පළාත් පාලන ආයතනවල කටයුතු ආරම්භ කිරීමට මේ වනවිට හැකි වී නැහැ.

ඒ, පළාත් පාලන ආයතනවල බලය තහවුරු කර ගැනීමට එක් එක් පක්ෂ දරන තරඟය හේතුවෙන්.

දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගත්තේ සමගි ජන බලවේගයයි.

එහිදී පැවැත්වුණේ විවෘත ඡන්ද විමසීමක්. සභිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ප්‍රේමකුමාර විජේවර්ධන මහතා ඡන්ද 12ක් ලබාගත් අතර, ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ මර්වින් ප්‍රදීප කොඩිතුවක්කු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් පමණයි.

පසුව ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අදහස් පළ කළා.

විවෘත ඡන්ද විමසීමක් පැවති ගම්පොළ නගර සභාවේ බලයද සමගි ජන බලවේගයට හිමිවුණා. එහිදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාට ඡන්ද 10ක් හිමිවූ අතර, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්‍ෂකයා ඡන්ද 19ක් ලබාගනිමින් සභාපති ධුරයට තේරී පත්වුණා.

කෙසේවෙතත් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.

ඒ, සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක්ද නැතහොත් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම් හේතුවෙන්.

පසුව සභාවේ අඛණ්ඩව හටගත් මතගැටුම් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට පියවර ගැනුණා.

පසුව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද එහිදී අදහස් පළ කළා.

බලංගොඩ නගර සභාවේ බලය හිමි කරගත්තේද ජාතික ජන බලවේගයයි.

ඉලංකෙයි තමිල් අරසු කච්චි සහාය ඇතිව කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට අද හිමි වුණා.

ඒ අනුව මේ දක්වා පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

ඒ අතරින් 151ක සෘජු බලය හිමිවුණේ ජාතික ජන බලවේගයටයි. සමගි ජන බලවේගයට පළාත් පාලන ආයතන 27කද ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ආයතන 17කද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, ලංකා කම්කරු කොංග්‍රසයට සහ මුස්ලිම් කොංග්‍රසයට ආයතන 3 බැගින් බලය හිමිව තිබෙනවා.

ස්වාධීන කණ්ඩායම් ඇතුළු පක්ෂ කිහිපයක් ද පළාත් පාලන ආයතන 12ක බලය හිමිකර ගෙන තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

පොදුජන එක්සත් පෙරමුණට එක් පළාත් පාලන ආයතනයක බලය හිමිව ඇති අතර, එක්සත් ජාතික පක්ෂය කිසිදු ආයතනයක බලය හිමි වී නැහැ.