රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනාවක් සිදු කර තිබේ.

ඒ, 24 වන ඉන්දු - රුසියානු වාර්ෂික සමුළුව සඳහා 2026 දී රුසියාවට පැමිණෙන ලෙසයි.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටි රුසියානු නායකයා එම සංචාරය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත මෙම ආරාධනය සිදු කර ඇති බවයි.

23 වන ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුවෙන් පසු නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, නායකයින් දෙදෙනා යෙකටරින්බර්ග් සහ කසාන් හි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාල දෙකක් විවෘත කිරීම පිළිගත් අතර, අන්තර් කලාපීය සහයෝගීතාව, වෙළඳ හා ආර්ථික සබඳතා සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඒවා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූහ.

පසුගිය සමුළුවේ සිට සෑම මට්ටමකින්ම සම්බන්ධතා අඛණ්ඩව තීව්‍ර වීම පිළිබඳව නායකයින් සතුට පළ කර තිබේ.

විශේෂ සහ වරප්‍රසාදිත උපායමාර්ගික හවුල්කාරිත්වයේ සැලකිය යුතු කුළුණක් ලෙස බලශක්ති අංශයේ ඔවුන්ගේ පුළුල් පරාසයක සහයෝගීතාවය පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර ප්‍රශංසා කළ බව වාර්තා වේ.