අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති සුහදතාවය චීනයේ ටියැන්ජින් හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේ පූර්ණ ප්‍රදර්ශනය විය. නායකයන් දෙපළ තම ද්විපාර්ශ්වික හමුව සඳහා පුටින්ගේ නිල Aurus Senat ලිමොසින් රථයෙන් එක්ව ගමන් කිරීම විදෙස් මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්විය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, අගමැති නරේන්ද්‍ර මෝදි එනතුරු විනාඩි 10ක පමණ කාලයක් බලා සිටි අතර, ඔහුට සිය මෝටර් රථයෙන් පැමිණෙන ලෙස ද ආරාධනා කර තිබේ. මූලාශ්‍රවලට අනුව, පුටින් අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ SCO සම්මන්ත්‍රණ ස්ථානයේ සිට ද්විපාර්ශ්වික රැස්වීම් පැවැති හෝටලය වෙත එක්ව ගමන් කර තිබේ. අනතුරුව නායකයන් දෙදෙනාම එක්ව ඔහුගේ මෝටර් රථයේ නැගී විවිධ ප්‍රශ්න ගැන කතා කළහ. ද්විපාර්ශ්වික රැස්වීම් ස්ථානයට ළඟා වීමෙන් පසුව පවා ඔවුන් තවත් විනාඩි 45 ක් මෝටර් රථයේ ගත කළ බව වාර්තා වේ. ඉන් අනතුරුව පැයකට අධික කාලයක් නායක දෙපළ පූර්ණ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳුදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාව 'විශිෂ්ට' ලෙස විස්තර කළේය.