චීනයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානය හෙවත් SCO සමුළුවට පෙර ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. මෙම මාසය තුළ අගමැති මෝදි සහ ජනාධිපති සෙලෙන්ස්කි දුරකථන සංවාදයක නිරත වූ දෙවන අවස්ථාව මෙය වනවා. එම දුරකථන සංවාදයේදී දැනට පවතින රුසියානු - යුක්‍රේන ගැටුම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. සිවිල් ඉලක්ක වෙත රුසියාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කළද, රුසියානු ප්‍රධානියා හමුවීමට යුක්‍රේනයේ සූදානම ඔහු නැවත තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මොස්කව් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලීමට කිසිදු කැමැත්තක් දක්වා නොමැති බවත්, සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර අඛණ්ඩව සිදු කරගෙන යන බවත් එම හමුවේදී අවධාරණය කර තිබෙනවා. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අනෙකුත් යුරෝපීය නායකයින් සමඟ වොෂින්ටනයේදී කළ සාකච්ඡා පිළිබඳවද ඉන්දීය අගමැති මෝදිට දැනුම් දුන් බව සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය සටහනකින් සඳහන් කර තිබෙනවා. යුද්ධයෙන් විපතට පත්වූවන්ට ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් අගමැති මෝදිට සෙලෙන්ස්කි ස්තූති පළ කර ඇති අතර, විශේෂයෙන් ීඣ සමුළුවට පෙර සාමය පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය අගය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අද චීනයේ පැවැත්වෙන 2025 SCO සමුළුවට ඉන්දීය අගමැති මෝදි සහභාගී වීමට නියමිත අතර එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. සමුළුව අතරතුර ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.
Published