රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් හමුවීමට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු යුක්‍රේන සටන් විරාමය සම්බන්ධයෙන් යුරෝපා නායකයින් නව බලාපොරොත්තු ඇති කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යුක්‍රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සදඟා අමෙරිකානු සහ රුසියානු නායකයින් දෙපල හෙට ඇලෙස්කාවේදී හමුවීමට නියමිතයි. ඊට පෙර පැවති යුරෝපා නායකයින්ගේ සාකච්ඡාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර සටන් විරාමයක් ඇති කරගැනීම රුසියානු ජනාධිපතිවරයා සමග තමන් සිදු කිරීමට නියමිත සාකච්ඡාවේ අරමුණ වන බවයි. යුක්‍රේන ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ඊට අදාල ඕනෑම භෞමික ගැටලුවක් තීරණය කළ යුතු බවත් ආරක්ෂක සහතික කිරීම් ගිවිසුමේ කොටසක් විය යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී යුක්‍රේනය සම්බන්ධයෙන් සිය අපේක්ෂාවන් ප්‍රකාශ කිරීමට යුරෝපා නායකයින්ට අවස්ථාව හිමි වූ බවද ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. රුසියාව යුක්‍රේන යුද්ධය නතර නොකළහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ. අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම සාකච්ඡාවට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ෆින්ලන්තය සහ පෝලන්තය යන රටවල නායකයින් මෙන්ම යුරෝපා සංගමයේ සහ නේටෝ සංවිධානයේ ප්‍රධානීන් ද එක්ව තිබෙනවා. අමෙරිකා සහ රුසියා නායක දෙපලගේ හමුවට පෙර මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීමට හේතු වූයේ යුක්‍රේනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී අදාල සාකච්ඡාවට යුක්‍රේන ජනාධිපතිවරයා එක්කර නොගැනීම සම්බන්ධයෙන් යුරෝපා නායකයින් කනස්සල්ලෙන් පසුවීමයි.
Published