ඇල්ල, වැල්ලවාය මාර්ගයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඒ අතර, කාන්තාවන් 09 දෙනෙකුද වන බවයි ඇල්ල පොලීසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පිරිමි පුද්ගලයින් 08 දෙනෙක්, කාන්තාවන් 05ක් සහ ළමුන් 05 දෙනෙක් එලෙස රෝහල්ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ. විනෝද චාරිකාවක නිරත වූ පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඇල්ල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබියදී එම අනතුර සිදුව තිබෙනවා. බස් රථයේ ගමන් කර ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පිරිසක් බවටයි පැවසෙන්නේ. ඊයේ රාත්‍රියේ අනතුර සිදුවීමත් සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන්, බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද පැමිණියා. ප්‍රපාතයට පෙරළුණු බස් රථයේ සිටි පිරිස මුදා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යෙදීමටයි ඔවුන්ට සිදු වුණේ. එම ස්ථානයට බැසීම සඳහා කඹ අවශ්‍ය වී තිබූ අතර ඒ සඳහා කඹ ලබාදෙන ලෙසට සමාජ මාධ්‍ය හරහා කළ ඉල්ලීමට ප්‍රදේශවාසීන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබුණා. ඉන් අනතුරුව එම කඹ ආධාරයෙන් අනතුරට ලක් වූවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු බස් රථය අඩි දහසක පමණ පහළට වැටී තිබූ ස්ථානයට ළඟා වුණා.
අනතුරෙන් බස් රථ රියදුරාද ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ. අදාළ බස් රථ අනතුරේ නිරීක්‍ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක්ද යොදවා තිබුණා. අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මතයි. Published