යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලක වහලයේ සහවා තිබූ ටී - 56 වර්ගයේ ගිණි අවි කොටස් හා පතරොම් තොගයක් ඇතුලු තවත් යුද උපකරණ රැසක් ආරක්ෂක අංශ විසින් 31 දා සොයා ගෙන තිබෙනවා.

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ එම ගොඩනගිල්ල පරීක්ෂා කිරීමේදී මුලින්ම බෝම්බ පිපිරවීම සදහා යොදා ගන්නා සේවා නූලක කොටසක් හමු වී තිබෙනවා.

පසුව ඒ ඔස්සේ තවදුරටත් කළ පරීක්ෂා කිරීම් වලදී පතරොම් හා සෙසු යුද උපකරණ හමු වී ඇත.

සොයා ගත් ද්‍රව්‍ය අතර ටී-56 රයිෆලයක් තවත් මැගසින් දෙකක් කුඩා ෂෙල් වෙඩි තුනක්, ක්ලේමෝ පුපුරුවා හැරීමට භාවිතා කරන පුනර්ජනනීය යන්ත්‍රයක්, වයර් සහ තුවාල සඳහා යොදා ගන්නා සැරහුම් පටි තොගයක් සේලයින්, පුලුන් , තුවාල සඳහා වෙළුම් පටිකීපයක්ද වී තිබෙනවා.

සොයා ගත් සියලුම පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය කෝපායි පොලිස් ස්ථානයේ තැන්පත් කර ඇති අතර ඒවා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම පතරොම් පරණ පතරොම් නොව ඉතාම අලුත් තත්ත්වයේ ජීව පතරොම් වීම නිසා යාපනයේ ආරක්ෂක අංශ මේ සිද්ධිය පිළිබදව දැඩි අවධානය යොමු කොට ඇති අතර යාපනය විශ්ව විද්‍යාලයේ බලධාරීන් මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ එම පතරොම් හා යුද උපකරණ ඉතා පැරණි ඒවා බවත් යුද සමයේදී කීසියම් පිරිසක් විසින් ඒවා මෙම ස්ථානයේ සගවා තබන්නට ඇති බවයි.

නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ වලට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම පුස්තකාල ගොඩනැගිල්ල යුද්ධයෙන් පසුව අවස්ථා දෙකකදීම අලුත්වැඩියා කිරීම් වලට ලක් කොට ඇති අතර ඒ අවස්ථා වලදී මෙම යුද උපකරණ හමු නොවූයේ මන්දැයි යන්න ප්‍රශ්න කොට තිබෙනවා.

මේ නිසා මෙම පතරොම් හා යුද උපකරණ මෑතකදී එම ස්ථානයේ සගවා ඇති බවට යාපනයේ ආරක්ෂක අංශ සැක පල කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

නොවැම්බර් මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධානත්වයෙන් එල්.ටී.ටී.ඊ මහවිරු සතිය සැමරෙන නිසා මෙම පතරොම් හා යුද උපකරණ ඒ අවස්ථාවන් වලදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සහවා තැබුවේද යන්න පිළිබදවද යාපනයේ ආරක්ෂක අංශ වල අවධානය යොමු වී ඇත.