හුළු අතු වලින් ගිනි තබා, ඇස්පෙනීමේ දුර්වලතාවයකින් හෙබි වෙඩි වැදීමක් හේතුවෙන් පාදයක ආබාධයක් හේතුවෙන් ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙන වනඅලියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවන් තිදෙනාට නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය ඇති බැවින් ඇප පනතේ 14(1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් තිදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය (24දා) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව සියලු සැකකරුවන් ජනවාරි මස 8 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඊළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවා.

මෙසේ යලි රිමාන්ඩ් භාරයට පත් කළේ මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම අඹගහවෙල හංදියේ පදිංචිකරුවන් වන ජේ.එම්. සිසිර සේනාධීර, ජේ.එම් ප්‍රසන්ත චලින්ද කුමාර සහ ජේ.එම්. වසන්ත විජය කුමාර යන සැකකරුවන් වනවා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ කලණ කොතලාවල මහතා සඳහන් කළේ, අලියාට ගිනි තැබීම වීඩියෝ ගත කළ විශ්ව විද්‍යාල සිසුවාට සැකකරුවන්ගේ පාර්ශවයන් විසින් බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබෙන බවයි.

එම බලපෑම හේතුවෙන් අලියාට ගිනි තැබීමේ සිද්ධියේ මුල් වීඩියෝ දර්ශන මකා දමා ඇති බවට විමර්ශනවලදී හෙළිවි ඇතැයි අවධාරණය කළ රජයේ අධි නීතිඥවරයා ඒ සඳහා නිශ්චිත කරුණු අනාවරණය කර ගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුවාට අයත් අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අවශ්‍ය බවද පවසා තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ බවට තවත් සැකකරුවන් සිටින බවට අනාවරණය වී ඇතැයිද කියා සිටි රජයේ අධි නීතිඥ කලණ කොතලාවල මහතා සැකකරුවන් සැප මත මුදා හැරියහොත් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු වලට බලපෑම් සහ බාධා එල්ල විය හැකි බවද කියා සිටියා.

අලියා පිළිස්සීමට යොදා ගත් හුළු අතුද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවද අධිකරණයට පවසා සිටි රජයේ අධි නීතිඥවරයා, එම හුළු අතුද නඩු භාණ්ඩ ලෙස නම් කරන බව දන්වා තිබෙනවා.

අලියා මිය ගොස් ඇත්තේ පිලිසීම හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල පටක වලට සිදු වූ හානි හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි ද ප්‍රකාශ කළ රජයේ අධි නීතිඥවරයා සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් ස්වකීය විරෝධය පළ කරන බවත් ඒ අනුව ඔවුන් සියලු සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් ඉල්ලා සිට තිබෙනවා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජේෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා පැවසුවේ නිර්දෝසී භාවයේ පූර්ව නිගමනය සැකකරුවන්ට ඇති බැවින් අප පනතේ14 (1) වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට අප ලබා දීමේ හැකියාව මෙම අධිකරණයට පවතින බවයි.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන්ගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් විවිමර්ශන සඳහා ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙන බවත් අධිකරණයට ප්‍රකාශ කළ නීතිඥවරයා දීර්ඝව කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසයි.

දීර්ඝ වේලාවක් දෙපාර්ශවය කල කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ජනවාරි මස 8 දින දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් මිහින්තලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතා ඇතුළු නිලධාරින් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ රජයේ අධි නීතිඥ කලණ කොතලාවල මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතා සමග නීතිඥවරුන් වන නීතිඥ නලින් දිමුතු බණ්ඩාර මහතා සහ නීතිඥ ප්‍රියදර්ශනී අත්තනායක මහත්මිය පෙනී සිටියා.

සුරැකිමු ලංකා සංවිධානය ඇතුළු සත්ව සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන වෙනුවෙන් නීතිඥවරුන් වන සුසිල් සිරිවර්ධන සහ නලින්ද සිල්වා යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර නිරීක්ෂණ පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥ චතුර ධනංජය රණතුංග මහතා සමග නීතිඥවරුන් වන රුවිනි ජයතිලක සහ තක්ෂලා ඒකනායක යන මෙනවියන් පෙනී සිට තිබෙනවා.

මෙම නඩුව දැක බලා ගැනීම සඳහා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් සහ සුරැකීමු ලංකා සංවිධානයේ පාහියන්ගල ආනන්ද සාගර යන හිමිවරුන් විවෘත අධිකරණයේ වැඩම කර සිට තිබෙනවා.