අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ජෙෆ්රි කෲස්ව සේවයෙන් පහ කර තිබෙනවා. ඒ අනුව ලුතිනන් ජෙනරාල් ජෙෆ්රි කෲස් තවදුරටත් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු නොකරන බවයි පෙන්ටගනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජුනි මාසයේදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් එහි න්‍යෂ්ටික වැඩසටහන මාස කිහිපයකින් පමණක් පසුබෑමට ලක් වූ බව සොයා ගත් වාර්තාව ධවල මන්දිරය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ DIA ඒජන්සියේ තක්සේරු වාර්තාව අසත්‍ය බවයි. එම වාර්තාව ප්‍රතික්ෂේප කර සති කිහිපයකට පසුව පෙන්ටගනයේ බුද්ධි අංශ ප්‍රධානියා සේවයෙන් පහ කිරීමට අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ අතර, ඉතිහාසයේ වඩාත් සාර්ථක මිලිටරි ප්‍රහාරයක් පහත් කොට සැලකීමේ උත්සාහයක් සම්බන්ධයෙන්ද මාධ්‍යයට චෝදනා කර තිබුණා. නේටෝ සමුළුවේදී හෙග්සෙත් පවසා තිබුණේ අදාළ වාර්තාව අඩු බුද්ධි තොරතුරු මත සකස් කර ඇති බව සහ FBI ආයතනය මේ පිළිබඳව විමර්ශනය කරන බවයි. මේ අතර තවත් ජ්‍යේෂ්ඨ හමුදාපතිවරුන් දෙදෙනෙකු ද පෙන්ටගනය විසින් නෙරපා හැර තිබෙන බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ සෙනෙට් සභික මාර්ක් වෝනර් අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කෲස්ගේ නෙරපා හැරීම රටට ආරක්ෂාවක් ලෙස නොව පක්ෂපාතිත්ව පරීක්ෂණයක් ලෙස සැලකිය හැකි බවයි.
Published