ලෝක අමද්‍යප දිනය දා හෝටලයකට අයුතු ලෙස ඇතුළු වී මත්පැන් බෝතලයක් ඉල්ලා පසුව මත්පැන් බෝතලයක් නොදුන් නිසා උරණ වී හෝටලයේ කළමනාකරු බලහත්කාරයෙන් රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කෲර වද හිංසා පමුණුවා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි පොළොන්නරුව කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු විත්තිකාර පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු එකී චෝදනාවට වරදකරුවන් බවට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා තීන්දු කර තිබෙනවා. ඒ අනුව පොළොන්නරුව කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ එවකට සේවය කල පොලිස් සැරයන්වරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වෙන් වෙන් වශයනේ වසර හත බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කල මහධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊට අමතරව වෙන් වෙන් වශයෙන් රුපියල් 15000 බැගින් දඩ මුදල් ගෙවන ලෙසටද විත්තිකාර පොලිස් නිලධාරීන්ට තවදුරටත් නියෝග කරනු ලැබීය. නියම කල දඩ මුදල් ගෙවීම විත්තිකාර පොලිස් නිලධාරීන් පැහැර හරින්නේ නම් ඔවුනට වෙන් වෙන් වශයෙන් තවත් මාස 12 ක සිර දඩුවමක්ද නියම කෙරිණ. මෙසේ සිර දඬුවම් නියම වූයේ මෙම අපරාධය සිදු වන අවස්ථාවේ පොළොන්නරුව කොට්ඨාශ දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන් එච් දයානන්ද රත්නායක සහ පොලිස් කොස්තාපල්වරුන් වන එම් ජගත් ප්‍රියන්ත පෙරේරා ගුණසේකර සහ එම් ජී මහින්ද චාර්ලිස් යන විත්තිකරුවන්ටය. මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටි පොළොන්නරුව කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපති ඩබ් වසන්ත හෙන්රි පෙරේරා නැමැත්තා නඩු විභාගය අතරතුර මිය ගොස් තිබුණා. විත්තිකාර පොලිස් නිලධාරීන්ට මෙලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ඔවුන් මිනී මැරීමක් නොවන සාපරාදි සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරුවන් කරමිනි. විත්තිකරුවන් සිදු කල පහර දීම් සහ කෲර වද හිංසා හේතුවෙන් මෙම නඩුවේ මරණකරු වන හර්මන් ක්වීන්ටස් පෙරේරා නැමැත්තාගේ ශරීරයේ බාහිර තුවාල 26 ක් තිබූ බවත් ඉන් තුවාල 14 ක්ම තැලීම් තුවාල බවටත් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි හර්ෂණ මහේන්ද්‍ර සේනානායක මහතා ස්වකීය පශ්චාත් මරණ පරික්ෂණයේදී නිගමනය කර ඇති බවද මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියා. මරුණකාර හර්මන් ක්වීන්ටස් පෙරේරා යන අය කදුරුවෙල රන්කෙත හෝටලයේ කලමනකාරවරයා ලෙස සේවය කරමින් සිටියදී විත්තිකාර පොලිස් නිලධාරීන් ඔහුගෙන් බලහත්කාරයෙන් මත්පැන් බෝතලයක් ඉල්ලා ඈත්තේ මත්පැන් විකිණීම තහනම් කර ඇති ලෝක අමද්‍යප දිනය දා බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය 2004 වසරේ ඔක්තෝබර් මස 13 වන දින හෝ ඊට ආසන්න දිනයක පොළොන්නරුව මහාධිකරණ බල ප්‍රදේශයට අයත් පොළොන්නරුවේදී විත්තිකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය සහ 1994 අංක 22 දරණ වද දීමට සහ අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම් වලට එරෙහි වූ සම්මුති පනතේ 2 (4) වගන්තිය යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා මෙම විත්තිකරුන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා ගොනු කර තිබුනද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 297 වන වගන්තිය ප්‍රකාරව මිනී මැරීමක් නොවන සාපරාදී සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවට විත්තිකරුවන් වරදකරුවන් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර කළා. ඊට හේතුව මෙම සිද්ධිය සිදු වී දැනට වසර 21 ක කාලයක් ගතවී තිබීම සහ මරණය සිදු වන අවස්ථාවේ මරණකරු දැඩි ලෙස සිරෝෂිස් රෝගයෙන් පෙළනු රෝගියෙකුව සිටීම සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ තවත් විශේෂ කරුණු කිහිපයක් සැළකිල්ලට ගනිමිනි. මරණකරු කෲර වද හිංසා වලට ලක් කිරීමට අදාළ චෝදනාවට ද විත්තිකරුවන් වරදකරුවන් කරනු ලැබූව ද එකී චෝදනාවට ඔවුනට දඬුවම් නියම නොකිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළා. ඊට හේතුව එය විකල්ප චෝදනාවක් වූ බැවිනි මෙම නඩුව විභාගයට ගැණුනු අවස්ථා වල පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටියේ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු සභාපති රොහාන්ත අබේසූරිය මහතා රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකුව එවකට සිටියදී වන අතර පළමු විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රිනාත් පෙරේරා දෙවන විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න සහ තුන සහ හතර විත්තකිරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටියේය. මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කල අවස්ථාවේ නී්තිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීිතිඥ හෂාන් බානු මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දික තිලකරත්න මහතාගේ උපදෙස් මත නීතිඥ නෙරංජනී චන්ද්‍රමාලි මහත්මිය පෙනී සිටියා. නඩුවේ සියළු විත්තිකරුවන් වෙනුවෙන් මෙරට අතිශය ප්‍රසිද්ධ කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් තිදෙනකු පෙනී සිටි පසුබිමක විත්කිකරුවන් වරදකරුවන් කර දඬුවම් නියම කිරීමට මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා සමත්වීම විශේෂත්වයකි. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ සිද්ධියෙන් වසර 21 කට පසුව වීමත් මහාධිකරණ විනිසුරුවරුන් 11 දෙනෙකු ඉදිරියේ වරින් වර විභාගයට ගෙන තිබීමත් විශේෂත්වයකි.