2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වන දිනය අදයි. අදත් පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පොත් ප්‍රදර්ශනය ක්‍රියාත්මකයි. හෙට දිනයෙන් පොත් ප්‍රදර්ශනය අවසන් වන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සංවිධාන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසුවේ.

මේ අතර අවශ්‍යතා සහිත පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වීම සඳහා පොත් පරිත්‍යාග කිරීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙවරත් නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටියේ ඇති පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමට පෙර දිනවල මෙන්ම ඊයේ දිනයේදී ද විශාල පිරිසක් එක් වුණා. ඒ අතරින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. “සතුට” කෘතිය රචනා කළ ප්‍රියනාත් ජයසූරිය මහතාගේ නවතම කෘතිය විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් කුටිය වෙත පැමිණෙන ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. 26 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.