පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් පහරදීම හා වද හිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් කාලයේ තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබුණත් පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම කණගාටුදායක තත්ත්වයක් බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම කටයුත්ත නිසියාකාරව ඉටුකිරීම සඳහා ඊට මැදිහත් විය යුතු අවස්ථාව එළඹී තිබෙන බවත් පෙන්වා දී තිබෙනවා.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අරුණසිරි විතානාරච්චි නමැති රියදුරෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී වධ හිංසාවලට භාජනය කිරීම තුළින් තලාතුඔය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමින් දෙමින් ප්‍රියන්ත ප්‍රනාන්දු, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඊයේ මේ බව ප්‍රකාශයට පත් කළා.
පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් වධ හිංසාවට භාජනය වීම වැළැක්වීම සඳහා ඉකුත් කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබුණද පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් විනිසුරුවරයා මෙහිදී අවධාරණය කළා.
එම නිසා මෙවැනි අසනාවන්ත තත්ත්වයන් පිටුදැකීම සඳහා රජයට ඊට මැදිහත්වීම සඳහා කාලය පැමිණ තිබෙන බවයි විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස තලාතුඔය පොලීසියේ පොලිස් කොස්තාපල් ජයකොඩි, එවක ස්ථානාධිපති අරුණ ක්‍රිෂාන්ත, රථවාහන අංශයේ ස්ථානාධිපති සුමිත් කුමාර, උප පොලිස් පරීක්ෂක රණවීර, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ තමන් වයස අවුරුදු 46ක තැනැත්තෙකු බවත් මහියංගනය ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක රියදුරකු වශයෙන් තමා සේවය කරන බවයි. එම ටිපර් රථය මෙම නඩුකරයේ හතරවන වගඋත්තරකරු වන උප පොලිස් පරීක්ෂක රණවීර නමැත්තාට අයත් බවත් පෙත්සම්කරු පෙන්වා දුන්නා.
2019 වසරේ පෙබරවාරි මස 26 වනදා බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කිරීමේ චෝදනා මත පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත් ඉන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නීති පියවර ගත් බවත් පෙත්සම්කරු කියා සිටියා.
ඉන්පසුව බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළ නොහැකි බවට තමන් අදාළ ටිපර් රථෙය් හිමිකරු වන උප පොලිස් පරීක්ෂක රණවීර නමැත්තාට පැවසූ බවත් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් තමන් සමඟ අමනාප වූ බවත් ඔහු කියා සිටියා.
එම සිද්ධියෙන් පසුව බලපත්‍ර තිබෙන වැලි පමණක් ප්‍රවාහනය කිරීමට තමන්ව යෙදවූ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
2019 වසරේ අප්‍රේල් මස 01 වනදා තමා ටිපර් රථයේ අලුත් වැඩියාවක් සිදුකර සවස නිවසට පැමිණ නිවස ඉදිරිපිට මාර්ගයේ නවතා තබා රාත්‍රී 07ට පමණ අවමංගල්‍ය නිවසකට ගිය බවත් එහිදී මිතුරන් සමග බියර් පානය කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු එදින රාත්‍රී 9.45ට පමණ යළි නිවසට පැමිණ බිරිඳ සහ දරුවන් සමඟ ආහාර ලබාගෙන ටිපර් රථය තුළ නිදාගත් බවත් සඳහන් කළා.
රාත්‍රී 11.50 ට පමණ තමන්ට හදිසියේ ඇහැරුණු බවත් ඒ අවස්ථාවේදී ටිපර් රථය අසල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටිනු තමන් දුටු බව කී පෙත්සම්කරු ඒ අතරින් එක් අයකු පොලිස් කොස්තාපල් ජයකොඩි වශයෙන් තමා හඳුනාගත් බවත් සඳහන් කළා.
ඉන් පසුව ජයකොඩි නමැති නිලධාරියා ටිපර් රථයට නැග හෙල්මට් එකකින් තමන්ට පහර දුන් බවත් තවත් නිලධාරියකු ටිපර් රථයෙන් තමන්ව බිමට ඇති දමා මානුෂික ආකාරයෙන් පහර දී පසුව පොලිස් ස්ථානයට රැගෙන ගිය බවත් ඔහු පෙත්සම්කරු ප්‍රකාශ කර තිබෙනවා.
පොලිස් ස්ථානයේදී තමන්ට ස්ථානාධිපතිවරයාත් පහර දුන් බව කියා සිටි පෙත්සම්කරු ඉන් පසුව බීමත්ව රිය පැදවීම සහ අධික වේගයෙන් රිය පැදවීම ඇතුළු චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර අප්‍රේල් මස 04 වනදා ඇප මත මුදා හැරීමට නියම කෙරුණු බවත් සඳහන් කළා.
ඉන් අනතුරුව තමා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත් බවයි පෙත්සම්කරු අධිකරණය හමුවේ පැවසුවේ.
ඒ අනුව වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව විනිසුරු මඩුල්ල සිය තීන්දුව තුළින් සඳහන් කළේ වගඋත්තරකරුවන්ගේ ක්‍රියා කලාපය තුළින් ඔවුන් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවයි.
පෙත්සම්කරු ඉදිරිපත් කරන කරුණු සහ ඔහු සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් මෙම පෙත්සම්කරු පොලිස් අත්අඩංගුවේදී වධ හිංසාවලට භාජනය වී ඇති ආකාරය මනාව තහවුරු වන බවත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.
ඕනෑම දරුණු අපරාධකරුවෙකුට මෙන්ම සුලු රථවාහන වරදක් සිදු කරන පුද්ගලයෙකුටත් නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාවක් ලැබිය යුතු යැයි සදහන් කළ විනිසුරු මඩුල්ල, පුද්ගලයෙකු යම් වරදක් සිදු කළේ නම් ඊට අදාළව නීතිය අනුව කටයුතු කිරීම පසෙක තබා මෙලෙස දඩුවම් පැමිණවීමට හැකියාව නොමැති බවත් කියා සිටියා.
ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවා.




