සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිදහස වත්මන් රජය පොලිස් නිලධාරීන්ට ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ඒ අනුව කිසිදු පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට වත්මන් රජය අනවශ්‍ය බලපෑම් සිදු නොකරන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

ලබා දී ඇති එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නා ලෙස ඇය පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා. බම්බලපිටිය ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ පැවති 84 වෙනි පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එම අදහස් පළ කළා. එහිදී පොලස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ද අදහස් පළ කළා. පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙල දින තුනක් පුරා බම්බලපිටිය ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ පැවැත්වුණා.