මොරටුව ඉඩම ප්‍රදේශයේ පිහිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිවසකට ඇතුළු වී මුදල් සොරා ගැනීම ඇතුළු අපරාධ රැසකට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරකට අනුව මොරටුව කුරුස හංදිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
සැකකාර පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මුදල් පසුම්බියක් සහ රන්මාලයක් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු වැද්දුම්කරුවෙකු ලෙස කටයුතු කරන්නෙක් බවටද අනාවරණ වී තිබෙනවා.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහු විසින් සොරාගත් රුපියල් ලක්ෂ පනහකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපළ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම දේපළ අතර තිබී පවුම් 07 කට ආසන්න බරක් තිබෙන රන් භාන්ඩ, අත් ඔරලෝසු ජංගම දුරකථන හා මුදල් පසුම්බියක් ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
එලෙස සොයා ගත් මුදල් පසුම්බිය මොරටුව ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිවසින් සොරා ගත් බවටද සැකකරු පවසා තිබෙනවා.
සැකකරු විසින් ඉකුත් මාස කීපය පුරා මොරටුව, මහා භාගේ, වැලිකඩ, නාරහේන්පිට හා පිළියන්දල යන පොලිස් වසම්වල නිවාසවලට ඇතුළු වී දේපල සොරා ගෙන ඇති බවටද අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.
එලෙස සොරා ගත් එම දේපළ සැකකරු විසින් රත්මලාන, තලවතුගොඩ හා පිටකොටුව යන ප්‍රදේශවල දේපළ උගස්ගන්නා මධ්‍යස්ථානවලට අඩු මුදලට විකුණා තිබියදී භාරයට ගත් බවද පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි බොරැල්ල බේස් ලයින් පාර සිරිසර උයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.