මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07දෙනෙකු මේ වන විට මෙරට ආරක්‍ෂක අංශ වෙත භාර වීමට කැමැත්ත පළ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඔවුන් වරද පිළිගනිමින් ඉදිරි නීති කටයුතුවලට සහය දීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී අත්අඩංගුවට ගත් පුද්ගලයින් විධිමත් ක්‍රමවේදයක් හරහා පුනරුත්තාපන කටයුතුවලට යෙදවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා වන ‘රටම එකට‘ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින්.

මේ අතර, විෂ මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුමට සමගාමීව ඊයේ දිනයේදී පුද්ගලයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී දිවයින පුරා වැටලීම් 1000ක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 994 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 782ක්, අයිස් ග්‍රෑම් 827ක්, ගංජා කිලෝග්‍රෑම් 71යි ග්‍රෑම් 681ක්, මත්පෙති 631ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් 25 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 05දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.