මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19,185ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දන්සැල් 2,301ක් සඳහා ලියපදිංචි වී ඇති බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දන්සැල් 2,114ක් පැවැත්වීම සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ 1,792ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 1,186ක්, මාතර දිස්ත්‍රික්කයේ 1,021ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ 1,264ක් ලෙස දන්සැල් ලියාපදිංචි වී ඇති බවයි මහජන සෞඛ්‍ය සේවා අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය පැවසුවේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ දන්සැල් 1,097ක්, කොළඹ දිස්ත්‍රික්කයේ දන්සැල් 944ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දන්සැල් 922ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ දන්සැල් 977ක් ලෙස ලියාපදිංචි වී ඇති ලේඛනයේ ඇතුළත් බවද ඇය කියා සිටියා.

ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත දන්සලක් සංවිධානය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් පසුගියදා නිකුත් කරනු ලැබුවා.

මේ අතර සිය නිලධාරින් සියලු දන්සැල් පරීක්ෂාවට ලක් කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.

පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර සකස් කරන දන්සැල් තහනම් කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.