පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 02කදී සියලු දෙනා දැවී ලකුණු 244ක් රැස් කළා.
මුල් පෙළ පිතිකරුවන් තිදෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් සිටියදී නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා.
එය ඔහුගේ එක්දින දිවියේ පස්වන ශතකයයි.
නායක චරිත්ට අනගි සහායක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස් කළා.
ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 35යි පන්දු 05කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 167ක් පමණයි.
බංග්ලාදේශ ඉනිම එක් අවස්ථාවකදී කඩුලු දෙකකට ලකුණු 100ක් ලෙස ප්‍රබල ස්ථානයක පැවතුනා.
මිලාන් රත්නායකගේ සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ නජ්මුල් හොසේන් ෂැන්ටෝ ලකුණු 23ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවීම හේතුවෙන් බංග්ලාදේශ ඉනිමේ බිඳ වැටීම ආරම්භ වුණා.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ටන්සිද් හසන් ලකුණු 62ක් ලබා සිටියදී වනිඳු හසරංගගේ පන්දුවකට ජනිත් ලියනගේ රැකගත් අසීරු උඩ පන්දුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කිරීමට තීරණාත්මක සාධකයක් වුණා.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු 09ක් ලකුණු 125ක් තුළ බිඳ වැටී තිබියදී ශ්‍රී ලංකා ජයග්‍රහණය ප්‍රමාද කළ ජේකර් අලී ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 10කට කඩුලු 04ක් දවා ගත්තා. කමිඳු මෙන්ඩිස් ලකුණු 19කට කඩුලු 03යි.
වනිඳු හසරංග මෙම තරගයේදී එක්දින කඩුලු 100 සීමාව පසුකර යාමද විශේෂත්වයක් වුණා.
ඒ සඳහා ඔහු වැයකර ඇති තරග සංඛ්‍යාව 64ක්. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු 100ක් අඩුම තරග සංඛ්‍යාවකින් ලබාගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද වනිඳු හසරංග සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින කඩුලු 100 ලබාගෙන ඇත්තේ අජන්ත මෙන්ඩිස්. ඒ තරග 63කදීයි.
මෙම තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත අසලංකයි.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වූ වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට බලපෑ හේතු මෙලෙස විස්තර කළා.
ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතර සිටීම මෑත කාලීන ජයග්‍රහණවලට හේතුවක් වී ඇති බවද වනිඳු හසරංග මෙහිදී කියා සිටියා.