සියයට 18ක් ලෙස පනවා තිබෙන බදු ඉදිරියේදී අඩු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජර්මන් සංචාරය අතරතුරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුණගැසුණු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව වැඩි කර ගැනීමත් සමග ඉදිරියේදී බදු අඩු කරන බවයි.

අන්තවාදී ප්‍රකාශ සහ අන්තවාදය රට තුළ ප්‍රචාරය කිරීමට උත්සහ කරන පුද්ගලයන්ට අවශ්‍ය වුවහොත් නව නීති සකස් කරමින් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන කණ්ඩායම් ජාතිවාදය මතුවන ආකාරයේ ඇතැම් ප්‍රකාශ සිදු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.

සිය සිව් දින ජර්මන් නිල සංචාරය නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා සමග එම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද සහභාගී වුණා.