ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය වෙසක් පොහෝ දින පොදු සමාව ලබා දීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව, සිරකරුවන් කිහිප දෙනෙකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබා දුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 වැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ බව අදාළ නිවේදනයේ සඳහන්.

එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඔහුගෙන් තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමටද නියමිතව තිබෙන බව පොලීසිය පවසනවා.

ඒ අනුව මේ දක්වා සිදුකළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතින බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධව අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලු‍ම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.

එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථමද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවටද තොරතුරු හෙළිදරව් වී ඇති බවද එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

ඒ සම්බන්ධවයෙන්ද ඉදිරියේදී විමර්ශන සිදුකරනු ලබන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණය මගින් වරදකරුවන් වූ පුද්ගලයින් අනීතිවක නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මීට පෙරද ජනාධිපති පොදු සමාව යටතේ අනීතික ලෙස සිරකරුවන් නිදහස් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පවසා සිටියා.

මේ එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා.