බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයක රියදුරෙකු නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බස් රථය වැලිමඩ සිට නුවරඑළිය හරහා ධාවනය කරමින් තිබියදී පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී රියදුරු අධික ලෙස බීමත්ව සිටි බවටයි තහවුරු වී ඇත්තේ. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බස් රථයේ විශාල මගීන් ප්‍රමාණයක් සිටි බවයි පොලීසිය පවසන්නේ. අදාළ බස් රථය නුවරඑළිය පොලිසිය වෙත රැගෙනවිත් පරික්ෂා කර තිබෙනවා. එහිදී රියදුරු අසුන පිටුපස තිබී නීතිවිරෝධි මත්පැන්ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. කෙසේවෙතත් වෙනත් රියදුරෙකු කැඳවා බස් රථයේ සිටින මගීන් ගමනාන්තය දක්වා රැගෙන යන ලෙසට නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් බස් රථයේ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.