පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් බූස්ස බන්ධනාගාරයේ ආරක්‍ෂක කටයුතුවලින් ඉවත් කිරීමට සිදුවන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 200 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ ආරක්‍ෂක කටයුතුවලට යොදවා සිටිනවා.

නිලධාරි හිගය හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරී ඇති රාජකාරී ද සිදුකර ගෙන යනු ලබන්නේ දුෂ්කරතා මධ්‍යයේ බවයි වාර්තා වුණේ.

එය සැලකිල්ලට ගනිමිනුයි පොලිස් විශේෂ කාර්ය බලකාය මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා එම දැනුම්දීම සිදුකර ඇත්තේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේද නියාමක තනතුරේ පුරප්පාඩු 2000ක් පමණ පවතින බව වාර්තා වුණා.

ඒ අනුව බන්ධනාගාර නියාමකවරුන් යම් ප්‍රමාණයක් බදවා ගැනීමට එම දෙපාර්තමේන්තුව විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ගැටළුවට විසදුම් ලැබෙන තෙක් පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් තවදුරටත් බූස්ස බන්ධනාගාරයේ රාජකාරීවල යොදවන ලෙසට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර බුස්ස බන්ධනාගාරයේ රාජකාරීවල නිරත පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ඉන් ඉවත් කරන ලෙසට ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස පළමු වනදා ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය පසුගියදා නියෝග කළේ.