වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ බෙලිහුල්ඔය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට රුපියල් මිලියනයක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කර තිබෙනවා.

ඒ, බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100කට අලෙවි කරන ජල බෝතලයක් රුපියල් 400ක මුදලකට අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව උපාය දූතයෙකු යොදවා එම නිවාඩු නිකේතනයෙන් ජල බෝතලයක් මිලදී ගත් බවයි පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ.

එහිදී වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ එම නිවාඩු නිකේතනයට එරෙහිව නීතිමය පියවර ගත් බවද එම අධිකාරිය පැවසුවා.

මේ අතර වැඩි මිලට ජල බෝතල් අලෙවි කළ ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක්ද නීතියේ රැහැනට හසු කරගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ රුපියල් 70ට අලෙවි කරන ජල බෝතලයක් එම සංචාරක හෝටලය විසින් රුපියල් 300ක මිලකට අලෙවි කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක දඩ මුදලක් ගෙවන ලෙසට එම සංචාරක හෝටලයට නියෝග කර තිබෙනවා.