රුපියල් ලක්ෂ 790 වියදමින් ඉදි වන ඉදි වන බේරුවල දියත් මඟ වැඩකටයුතු ආරම්භ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය ඉපයීම වෙනුවෙන් සයුරට නව නිෂ්පාදිත බෝට්ටු මුදා හැරීම සඳහා දියත් මගක් ඉදිකිරීම වෙනුවෙන් චීන වරාය බෝට්ටු අංගනය අසල වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අමාත්‍යතුමාගේ මග පෙන්වීම මත සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලය හා බෝට්ටු නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් රුපියල් ලක්ෂ 790 ක මුදලක් යොදවා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
ප්‍රදේශවාසී මහා සංඝරත්නය සහ ආගමික නායකයන්ගේ ද, ප්‍රදේශවාසීන්ගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් වරාය අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ධීවර වරාය නීතිගත සංස්ථාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බේරුවල නගර සභාව ඇතුළු පාර්ශව කරුවන් ගේ අධීක්ෂණයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුවනවා.
මෙම අවස්ථාව බේරුවල දකුණු ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී වලතර සුභූති නාහිමි, හලවකන්ද කුසුමතලාරාමාධිපති මොරගල්ලේ චන්දවිමල හිමි හා මරදාන යාසීර් අරෆාත් ජුම්මා දේවස්ථානයේ ජෙස් රීන් (ඉල්හාරී) මවුලවිතුමන්ගේ ආගමික ආශිර්වාද මැද ආරම්භ වී තිබෙනවා.





