බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා. එම ත්‍රිරෝද රථය තුළ තිබී කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට්ටුවක් ද සොයා ගත් බවයි බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ. බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී අදාළ වෙඩි තැබීම සිදුව තිබුණේ අද අලුයම 12යි 30ට පමණයි. වෙඩි තැබීමෙන් ජීවිතක්‍ෂයට පත් වුණේ 21 හැවිරිදි පන්සල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බොරලැස්ගමුව බලරුස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටින අවස්ථාවේදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් එම පුද්ගලයාට එලෙස වෙඩි තබා තිබුණා. එලෙස වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. වෙඩි තැබීම සඳහා රිවෝල්වර අවියක් යොදාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.