පසුගිය ඉරිදා අළුයම බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මහරගම පොලිස් වසමේ නාවින්න ප්‍රදේශයේදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් වන පුද්ගලයෙක්. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20.55ක් ද සොයා ගෙන තිබෙනවා. එම සැකකරු ‘බඩෝවිට අසංක’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාශය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. අදාළ වෙඩි තැබීමෙන් 21 හැවිරිදි තරුණයෙකු මිය ගිය අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. බොරලැස්ගමුව බලරුස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටින අවස්ථාවේදී එම පුද්ගලයන් වෙඩි ප්‍රහාරයට ලක්ව තිබූ අතර වෙඩික්කරුවන් පැමිණි ත්‍රීරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගෙන තිබුණා.