බොරැල්ල කනත්ත හංදිය ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දොඹකර රථයේ රියදුරා කැනබීස් සැටයිවා එල් නොහොත් ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බව අනාවරණ වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ සැකකාර රියදුරා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර, සිදු කෙරුණු පරීක්ෂණයකින් එය අනාවරණ වී ඇති බවයි.
බෞද්ධාලෝක මාවතේ බොරැල්ල කනත්ත වටරවුම දෙසට ධාවනය කළ දොඹකර රථයක් කනත්ත වටරවුමේ විදුලි සංඥා රතු එළියට අනුව නවතා තිබූ යතුරුපැදි 06ක සහ කාර් රථ 03ක ගැටී තිබුණේ අද පෙරවරුවේයි.
අධික වේගය හේතුවෙන් දොඹකර රථයේ රියදුරාට එය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව තිබුණා.
එම අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
තුවාල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද වන බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් දොඹකර රථයේ රියදුරා සහ එහි හිමිකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් හෙට අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.