බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරමින් කොළඹ දෙසට ඇතුළු වන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි. මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල්ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසිය හැකියි. රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැකි බවද පොලිසිය පැවසුවා. කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස්. සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට පිවිසිය හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.