බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී පසුගිය 08 වනදා වෙළඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් බොරැල්ල, සහස්පුර ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයට යොදා ගත් ත්‍රීරෝද රථයක් ද සමඟයි.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු බොරැල්ල, සීවලි පටුමග ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 115ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරු පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී මෙම අපරාධයට යොදාගත් බවට අනාවරණය වූ ව්‍යාජ ලෙස සකසන ලද අංක තහඩුවක්, කඩුවක්, අපරාධකරුවන් ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක් හා ජංගම දුරකථනයක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.