භාතිය හස්තියාගේ මරණය, මෙරට අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සමාජය තුළ යළි කතාබහක් ඇති කිරීමට හේතු වී තිබෙනවා.
ඒ, මේ සම්බන්ධයෙන් කොතෙකුත් පියවර ගෙන තිබුණද අලි මිනිස් ගැටුම නිසා වන අලි මෙන්ම මිනිස් ජීවිත අහිමි වීමද තවමත් අවසන් නොවීම හේතුවෙන්.
භාතිය හස්තියා ජීවිතය පුදා යළි සිහිපත් කළ අලි මිනිස් ගැටුමට විසඳුමක් නැද්ද? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගෙන් ප්‍රශ්න කළා.
ඔහු කියා සිටියේ වනඅලින්ට වෙඩි තැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට විරුද්ධව නීති දැඩි කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.
විශේෂයෙන් පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර ගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැට සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳවත් සාකච්ඡා කර ඇති බවයි ඔහු පැවසුවේ.
මේ යටතේ අලි මිනිස් ගැටුම් ප්‍රබල දිස්ත්‍රික්කයන් තෝරාගනිමින් අලි වැට ඉදිකිරීම් කටයුතු සිදුකරනු ඇති.
එහි නඩත්තු කටයුතු සඳහා බහුකාර්ය නිළධාරීන් බඳවා ගැනීම පවා දැන් සිදු කර තිබෙනවා.
සිවිල් ආරක්ෂක භටයන්ගේ සහාය ද ඉදිරියේ දී ලබා ගැනීමට නියමිතයි.
මේ අතර “වනස්පති” වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල අඩවියේ – පානම උතුර රජයේ වනාන්තරය මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර අඩවියේ – රිලාගල සහ රජගල රජයේ වනාන්තරද මේ අතරට අයත්.
ඒ අනුව, මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5,711යි දශම 7යි 5ක වපසරියක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පැරිස් සම්මුතියට ශ්‍රී ලංකාව දක්වන එකඟතාවක් ලෙස 2030 වසර වන විට ලංකාවේ වන ආවරණය සියයට 32ක් දක්වා වර්ධනය කිරීම අවශ්‍යතාවයයි.