රිය අනතුරු හේතුවෙන් මෙම වසරේදී පමණක් පුද්ගලයින් 2,100කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙනවා.

මේ, දිනෙන් දින වැඩි වෙමින් පවතින සියලු දෙනා අවධානයට ගත යුතු අපේ රටේ රිය අනතුරු පිළිබඳ වාර්තාවක්.

රිය අනතුරු හේතුවෙන් සිදු වන මරණ දිනෙන් දින ඉහළ යමින් පවතින බව පොලිස් වාර්තා අනාවරණ කරනවා.

මෙම වසර තුළ ඊයේ දිනය දක්වා මාරක අනතුරු 1,996ක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,123 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊට අමතරව මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට පසුගිය 03 වනදා දක්වා කාලසීමාව තුළ බරපතල ගණයේ රිය අනතුරු 3,985ක් සහ සුළු අනතුරු 7,436ක් සිදුව තිබෙනවා.

මෑතකදී සිදුවූ ඇල්ල බස් රථ අනතුර මෙරට ජනතාවගේ හදවත් සලිත කළ සිදුවීමක් වුණා.

මෙම වසරේ වාර්තා වූ ආසන්නතම මාරක රිය අනතුර සිදු වුණේ ඊයේ දිනයේදීයි.

ගම්පොළ සිට දොළුව හරහා මහනුවර දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ දොළුව ප්‍රදේශයේදී ඊයේ දහවල් සිදුවූ එම රිය අනතුරෙන් කාන්තාවන් තිදෙනෙකටු ජිවිත අහිමි වුණා.

ගම්පොළ සිට මහනුවර දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම රථය ධාවනය කළ කාන්තාවට පාලනය කරගත නොහැකිව එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ මෝටර් රථයේ කාන්තාවන් සිව් දෙනෙකු ගැටී තිබූ අතර එහිදී තවත් කාන්තාවක් තුවාල ලැබුවා.

රිය අනතුරු අවම කර ගැනීම සඳහා පොලීසිය නිරන්තරයෙන් අවවාද සහ උපදෙස් ලබා දුන්නද ඇතැම් රියදුරන් ඒවා නොසළකා කටයුතු කිරීම රිය අනතුරු වැඩි වීමට බලපා ඇති එක් ප්‍රධාන සාධකයක්.

එබැවින් සෑම රියදුරෙකුම එවැනි උපදෙස්වලට අනුකූලව රිය පැදවීම සහ අවධානයෙන් කටයුතු කිරීම වඩාත් වැදගත් වන බව යළි යළිත් සිහි කැඳවිය යුතු වනවා.