“මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා.
මාස 07ක් තිස්සේ නේපාලයේ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ.
මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුනා.
ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා”
මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දියි. ඒ, ඇය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදීයි.
ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී ඉකුත් 13 වනදා රාත්‍රියේ අත්අඩංගුවට පත් වුණා. මෙම සැකකාරිය සමග පාතාල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා යන මහත්වරුන් විසින් දින තුනක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදීයි.
නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල මහතා පෙරේදා රාත්රියේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා යන මහත්වරුන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් 11 වනදා සිටයි.
කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. මෙම මෙහෙයුම රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන් අනතුරුවයි. නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා යන මහත්වරුන් නේපාලයේ කත්මන්දු නගරය වෙත ගොස් එරට පොලිසිය හමුවී මෙම මෙහෙයුම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එරට පොලිසියේ ද සහාය ඇතිව මෙහෙයුම ආරම්භ කළ පොලිස් නිලධාරීන්, ඉෂාරා සෙව්වන්දි සහ සෙසු පාතාල අපරාධකරුවන් සැඟවී සිටින ස්ථාන නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දි සැඟව සිට ඇත්තේ කත්මන්දු නගරයේ බක්තපූර් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුපිරි නිවසකයි. පැරණි නගරයක් වූ මෙම ප්‍රදේශයේ සුපිරි නිවාස ඉහළ මිල ගණනන් යටතේ කුලියට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා නවාතැන් ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසට යාබද නිවසේයි. එම නිවසේ සිට සිය මෙහෙයුම ආරම්භ කළ රොහාන් ඕලුගල ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා ලෙස කටයුතු කළ “ජේ.කේ. බායි” නැමැත්තා පළමුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉෂාරා සෙව්වන්දි, ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් පසුව එතැන් සිට නේපාලය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් ඇත්තේ “ජේ.කේ. බායි” නැමැත්තා විසින් බව පසුව අනාවරණය වුණා.
“ජේ.කේ. බායි” අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි සිටින ස්ථානය නිවැරදිව හඳුනාගත් රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ ද සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රොහාන් ඕලුගල මහතා දුටු සැණින් කම්පනයට පත්ව ඇති ඉෂාරා සෙව්වන්දි, “ඕලුගල සර්” යැයි කියමින් දිගු හුස්මක් ගෙන පිටකර ඇති බවයි වාර්තා වන්නේ. පසුව රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කෙහෙල්බද්දර පද්මෙගේ මත්ද්‍රව්‍ය ජාලයට සහ පාතාල කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනකු සහ කාන්තාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ ඉන්පසුවයි. නේපාලයේ කත්මන්දු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් සමත් වී තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රධානියකු වූ “ගම්පහ බබා” නැමැත්තා රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් රොහාන් ඕලුගල මහතාට ලබාදී අත්අඩංගුවෙන් බේරී යෑමට උත්සාහ දරා ඇතැයි සඳහන්. එහෙත් ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ රොහාන් ඕලුගල මහතා අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කාන්තාව චාවකච්චේරියේ පදිංචි “තක්ෂි” නැමැත්තිය බව හඳුනාගෙන තිබෙනවා. ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින් සමාන රූපයක් හිමි කාන්තාවක් බවයි පැවසෙන්නේ. පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ ඡායාරූප සහ දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස්කර ඉෂාරා සෙව්වන්දි ඇගේ නමින් යුරෝපයට පලා යෑමට සැලසුම්කර ගෙන සිටි බවයි.
“ජේ.කේ. බායි” නමැති සැකකරු ඒ සඳහා සියලු සහාය ලබාදීමට ඉදිරිපත්ව සිට ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මතයි. කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පාතාල කල්ලිය ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉෂාරා සෙව්වන්දිගේ සියලු සැලසුම් ව්‍යාර්ථ වූ බවද මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
මෙහිදී ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරු අනුව ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂරා සෙව්වන්දි දින කීපයක් තිස්සේ කොළඹ අවට ප්‍රදේශ කිහිපයක කට්ටි පනිමින් සැඟවී සිට ඇති බවයි පැවසෙන්නේ. පසුව ඇය මතුගම ප්‍රදේශයටත් එතැන් සිට මිද්දෙණිය ප්‍රදේශයටත් ගොස් ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිට තිබෙනවා.
මිද්දෙණිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ “ජේ.කේ. බායි” නැමැත්තා ඇය සමග එක්වී ඇති අතර සෙව්වන්දිට මිද්දෙණියේ සැඟවී සිටීමට සම්පත් මනම්පේරි නමැති අපරාධකරුගේ සහාය ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැකයක් මතු වී තිබෙනවා. පසුව ඉෂාරා සෙව්වන්දි රැගෙන යාපනයට පැමිණි “ජේ.කේ. බායි” නමැත්තා බෝට්ටුවක් මාර්ගයෙන් ඇය ඉන්දියාවට රැගෙන යෑමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
අපරාධකරුවන් නිත්‍යානුකූල නොවන මුහුදු මාර්ග ඔස්සේ වෙනත් රටවල්වලට රැගෙන ගොස් ඇරලවීමේ කාර්ය සිය රැකියාව ලෙස කරගෙන යන “ජේ.කේ. බායි” නමැත්තා සෙව්වන්දි රටින් පැන්නීම සඳහා ද රුපියල් ලක්ෂ ගණනක මුදලක් පද්මේගෙන් ලබාගෙන තිබෙනවා. ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය “ජේ.කේ. බායි” සති දෙකකට ආසන්න කාලයක් එහි තබාගෙන පසුව දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් ඇතැයි සඳහන්. දින 06ක දීර්ඝ දුම්රිය ගමනකින් පසුව ඉෂාරා සෙව්වන්දි නේපාල දේශ සීමා හරහා එරටට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ සබඳතා පාවිච්චි කරගෙනයි.
පසුව කත්මන්දු නගරයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ “ජේ.කේ. බායි” නමැති සැකකරු විසින්. ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් නියෝගයක් මතයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා දිවයිනට රැගෙන ඒමට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබුණා. මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලයේ රැඳී සිටින අතර ඔවුන්ට සහාය වීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා පිටත්ව ගොස් ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු පිරිස අද දිනයේ දී දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.
හේමන්ත/හේමන්ත/තරංග




