හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන තොටළඟ කන්නා නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම විත්තිකරුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඉකුත් 10 වනදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබුණා.

ඉන් අනතුරුව විත්තිකරු අධිකරණය මගහැර පලා ගොස් සිටීම හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

කොටහේන ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණක නිවසක සැඟවී සිටියදී පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා..

ඒ අනුව මෙම විත්තිකරු පොලීසිය විසින් අද දින කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා.

2014 වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇළකන්ද ප්‍රදේශයේදී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නමැත්තාට එරෙහිව නිතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණා.