මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කළුතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සිය සැමියාට තහනම් භාණ්ඩ අයත් පාර්සලයක් ලබාදෙන ලෙසට කාන්තාවක් විසින් එම නිලධාරියාට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ සඳහා රුපියල් 35,000ක මුදලක් ලබාදීමටද අදාළ කාන්තාව ජේලර්වරයාට පොරොන්දු වී තිබෙනවා.

ඒ අනුව එම කාන්තාව අදාළ පාර්සලය කලුතර බන්ධනාගාරයේ රැඳවියන් පෙන්වනු ලබන ස්ථානයේ කසල බඳුනට දමා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එය සොයාගත් කළුතර බන්ධනාගාර නිලධාරීන් විසින් එම පාර්සලය කළුතර උතුර පොලීසිය වෙත භාරදි තිබෙනවා.

එහි තිබී ජංගම දුරකතනයක්, හෙරොයින් ග්‍රෑම් 12 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව සිදුකරන විමර්ශන හමුවේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරියගේ දුරකතන වාර්තා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ බන්ධනාගාර ජේලර්වරයාද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම නිලධාරියා මීට මාසයකට පෙර කළුතර බන්ධනාගාරයේ රාජකාරී සදහා අනියුක්ත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.

මේ අතර හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සමග සැකකරුවෙකු පොළොන්නරුව, මාඔය, බැදිවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොළොන්නරුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මනම්පිටිය නිල සුනඛ ඒකකයේ නිලධාරීන් සමග සිදුකළ වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී හොරොයින් ග්‍රැම් දෙකයි මිලග්‍රෑම් 300ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් තිස් ලක්‍ෂ විසි හතරදහස් නවසියයක මුදලක් සොයාගත් පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු බැදිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.