ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ගොඩබිම සහ මුහුදු තීරය ද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයෙන් රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.
සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ඒ, මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.
ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ඒ අනුව මේ වනවිට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බව එහිදී අනාවරණ වී තිබෙනවා.
ගංවතුරට හසු නොවුණද අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර කටයුතුවල නිරත විය නොහැකිව ජීවනෝපායමාර්ග අහිමි වී සිටින ධීවර පවුල් වෙත සතියක කාලයක් සඳහා වියළි ආහාර පාර්සල් ලබාදීමට ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා ස්ථීර විසඳුමකට එළැඹීමේ අව්‍යශතාව ද අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
එමෙන්ම චීන රජයෙන් මෙරටට ලැබී ඇති දැල් ආම්පන්න තොගය ආපදාවට පත් වූ ධීවර ජනතාව වෙනුවෙන් ලබාදීමට චීන තානාපති කාර්යාලය සමග සාකච්ඡා කිරීමටද එහිදී අවධානය යොමු වී තිබෙනවා.
මේ අතර යෝධ වැව අභය භූමිය ජල පෝෂක ප්‍රදේශයේ අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳවද එ හිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 70කට නිවාස අහිමි වී ඇති අතර එම නිවාස ඉදිකරදීම සහ ඊට අවශ්‍ය ඉඩම් හදුනා ගැනීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
ඒ සඳහා කමිටුවක් පත් කර ඉදිරි සති දෙක තුළ අදාළ ඉඩම් හදුනාගැනීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශයට සදහන් කළේ.
මේ අතර පාසල් දරුවන් වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් ලබා දෙන රුපියල් 15,000ක මුදල ග්‍රාමසේවා නිලධාරීන්ගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කඩිනමින් ලබා දී අවසන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.





