මන්නාරම ප්‍රදේශයේ මේ වනවිට ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි. මෙම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ මෙරට ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී තිබෙන ගැටලු පිළිබඳව සොයා බලා ඒ සඳහා විසදුම් ලබා දීමට අවශ්‍ය ව්‍යුහයක් ඇති කිරීමටද මෙහිදී තීරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එමෙන්ම ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද එහිදී තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. බලශක්තිය යනු ප්‍රදේශයේ පමණක් නොව රටේ ජාතික සම්පතක් බවත්, විදුලිය ප්‍රශ්නය ගෘහස්ථ විදුලි බිලට පමණක් නොව රටේ නිෂ්පාදන පිරිවැය, විදෙස් ආයෝජන සහ සමස්ත ආර්ථිකය සමඟ බැඳී පවතින බවත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා. මෙම ව්‍යාපෘති මඟින් ජනතාවගේ ජීවන වෘත්තියට, ආර්ථිකයට හා ජීවිතය පවත්වාගෙන යාම සඳහා වන බලපෑම් සහ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට, රජය ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ. රටේ සියලුම සම්පත් රටේ ජනතාවට අයිති බවත් බලශක්තිය යනු එක් ප්‍රදේශයකට සීමා වන දෙයක් නොව සමස්ත රටේම ජනතාවගේ අයිතියක් බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම බවද එහිදී සඳහන් කළා. එබැවින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශ්ව එකඟතාවයන්ට පැමිණිය යුතු බවත් සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙන ප්‍රදේශයේ ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විසඳුම් ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි මෙම සාකච්ඡාවට එක්වූ ආගමික නායකයින් ඇතුළු ජනතාව කියා සිටියේ ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි. පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ද එම ජනතාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර තිබෙනවා. ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ. එම කාලය තුළ ගැටලු සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. අදානි සමාගම මඟින් විදුලි ඒකකයක් අමෙරිකානු ඩොලර් 8යි දශම 26කට මිලදී ගැනීමට තිබූ අතර, එය මෙරට මුදලින් රුපියල් 25ක් වනවා. එහෙත් මෙම සුළං විදුලි ව්‍යාපෘතියේ නිෂ්පාදිත විදුලි ඒකකයක මිල අමෙරිකානු ඩොලර් 4යි දශම 65ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් 13ක් වනවා. සුළං විදුලි බලාගාරය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තාවක් සකසා දෙන ලෙස ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා. ඉඩම් ගැටලු විසඳීම සඳහා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය එක්ව උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක් සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමට ද නියමිතයි. උතුරු පළාත් ආගමික නායකයින්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන් සහ උතුරු පළාත නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මන්නාරම පුරවැසි කමිටු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Published