කැකිරාව, කලාකරඔෑව ප්‍රදේශයේ පදිංචි මහා පරිමාන ව්‍යාජ රන් කාසි ජාවාරම්කරුවෙකු සමඟ සමීප සබඳතා පවත්වා, එම ජාවාරම්කරු සමඟ ව්‍යාජ රන් කාසි ජාවාරමේ යෙදුනු බවට චෝදනා එල්ල වී සිටින, උතුරු මැද පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මෙන්ම දැනට වෙනත් පළාතක් භාරව රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර, තම කොමිසමට වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට නියම කර ඇතැයි ජාතික පොලිස් කොමිසම අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන සුසන්ත වජිර කුමාර මහතට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ජාතික පොලිස් කොමිසම එම දැනුම්දීම සිදුකර ඇත්තේ අනුරාධපුර නගරයේ රන් භාණ්ඩ ව්‍යාපාරිකයෙකු වන සුසන්ත වජිර කුමාර මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානානායක මහතාට කරන ලද පැමිණිල්ලක් ජනාධිපතිවරයා විසින් එම කොමිසමට යොමු කිරීමෙන් අනතුරව එය සලකා බැලීමෙන් පසුවයි. ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අධ්‍යක්ෂ එන්.ඩබ්.ජී.ඩී. සුජීවනී මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා. ව්‍යාපාරික සුසන්ත වජිර කුමාර මහතා ස්වකීය පැමිණිල්ල මගින් ජාතික පොලිස් කොමිසමට දන්වා ඇත්තේ හෙක්ටර් නැමති පුද්ගලයෙකු සමඟ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සමීප සබඳතා පවත්වා සැබෑ රන් කැබලි ලෙස හඟවා ව්‍යාජ රන් කැබලි සූක්ෂමව විකිණීමේ ජාවාරමක නියැලි ඇති බවයි. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාල ජාවාරම්කරු සමඟ සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් නියෝජ්‍ය පෙලිස්පතිවරයා සහ ජාවාරම්කරු පිළිබදව විශ්වාසය තබා තමාද ජාවාරම්කරුගේ ව්‍යාජ රන් කැබලිවලට හසුවීම නිසා රුපියල් ලක්ෂ 218ක් අහිමි වූ බවද සුසන්ත වජිර කුමාර මහතා ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිළි කර ඇති බවයි වාර්තා වුණේ. අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ජවාරුම්කරුගේ නිවසේ නැවතී සිටිමින් ඔහුගේ ව්‍යාජ රන් කාසි ජාවාරමට චේතනාන්විතවම සම්බන්ධ වී ඇති බවත්, ඒ බව සනාථ කිරීමට තමාට හැකි බවත් එම ව්‍යාපාරිකයා පවසා තිබෙනවා. පැමිණිලිකාර ව්‍යාපාරික සුසන්ත වජිර කුමාර මහතාට ව්‍යාජ රන් කැබිලි ලබාදී රුපියල් ලක්ෂ 218ක් වංචා කිරීමේ සිද්ධියට චෝදනා ලැබූ ජී.ඩබ්. හෙක්ටර් නැමැත්තා ඇතු`එ සැකකරුවන් හය දෙනෙකු අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන, අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිට, පසුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරියා. සැකකාර හෙක්ටර් නැමැත්තාට එරෙහිව ව්‍යාජ රන් කාසි ජාවාරම් කිරීමේ සිද්ධීන්වලට අදාළව පැමිණිළි සහ නඩු විස්සකට අධික ප්‍රමාණයක් දිවයිනේ විවිධ පොලිස් ස්ථානවල සහ අධිකරණවල පවතින බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.