මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත එහි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද කිසිදු පුපුරන ද්‍රව්‍යයක් මෙතෙක් හමුවී නොමැති බව පොලීසිය පවසනවා.

ස්ථාන පහක බෝම්බ සඟවා ඇති බවට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට ඊ-මේල් පණිවිඩයක් ලැබී තිබුණේ අද දිනයේයි.

පසුව ඔහු ඒ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කළා.

පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය හා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය ඊට සම්බන්ධ වුණා.

මෙතෙක් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවුණද සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.