ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ප්‍රධාන වැව් 73න් 34කට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජලවිද්‍යා සහ ආපදා කළමණාකරණ, ඉංජිනේරු එල් ඒ එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 48ක්ද තවදුරටත් වාන් දමන බවයි.

මේ අතර නැගෙහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට අද දිනයේද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අවදානම් සහිත ඉඩම් සහ නිවාසවල පදිංචි ජනතාවට එම ස්ථානවලින් ඉවත් වන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා.

මේ අතර මධ්‍යම පළාතේ සියලු පාසල් අද සහ සඳුදා වසා තැබීමට තීරණය කළ බව මධ්‍ය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.