හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඔහු මෙතෙක් පදිංචි වී සිටි නිල නිවසෙන් ඉදිරි දින කිහිපය තුළ ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ඊයේ දිනයේ සිට බලාත්මක වීම හේතුවෙන්. එම නිවසෙන් ඉවත් වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් බොහෝ දුරට අද දිනයේදී ලිඛිත දැනුම්දීමක් සිදු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අදාල කටයුතු සම්පූර්ණ කර එම නිවස රජයට භාරදීමට දින කිහිපයක් ගතවිය හැකි වුවත් ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා එම නිවසෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා. ඔහු තංගල්ලේ පිහිටි නිවසට යාමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ අවසානයේ පැවති ඡන්ද විමසීමේදී සම්මත වුණේ වැඩි ඡන්ද 150කින්. ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. එලෙස සම්මත වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ පස්වරුවේම සිය සහතිකය සටහන් කරනු ලැබුවා. ඒ අනුව එම පනත් කෙටුම්පත 2025 අංක 18 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ලෙස ඊයේ දිනයේ සිටම බලාත්මක වුණා.
Published