මාතර - බෙලිඅත්ත මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූවන් දික්වැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර අක්කරෙයිපත්තු සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් සුඛෝභෝගී මගී බස් රථයක් සෝමාවතී පාර ටී හන්දියේදී පෙරළී යාමෙන් මගීන් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සේරුනුවර පොලිසිය පැවසුවේ අක්කරෙයිපත්තු සිට අද අළුයම පිටත් වූ එම බස්රථයේ මගීන් 27 දෙනෙකු ගමන් ගෙන ඇති බවයි.
සෝමාවතී පාර ටී හන්දියේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා තිරිංග තද කිරීමේදී බසය ලිස්සා ගොස් පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලැබූ මගීන් සේරුනුවර ප්‍රාදේශීය රෝහලට සහ මූතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරි රථයක් ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.
එම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරාට සහ රිය සහයකයාට කිසිදු අනතුරක් සිදුව නැහැ.




