අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළ අධිකරණ ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී අදාළ තොරතුරු මුලාශ්‍ර ලබා ගත්තේ කෙසේද? ලබා දුන්නේ කවුරුන්ද? යන්න අනුරාධපුර පොලිසිය තමාගෙන් ප්‍රශ්න කිරීම සහ ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම නීතියට පටහැනි බව පවසමින් අධිකරණ මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතා මහාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු අනුෂ්ක සෙනෙවිරත්න මහතා මේ මස 29 දින මහාධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙස අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්. ජයවීර මහතාට අද නියෝග කළා.
මෙම නියෝගය නිකුත් කෙරුණේ අධිකරණ මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතාගේ උපදෙස් මත නීතිඥ හර්ෂණී බාලසූරිය මෙනවිය මගින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් මහාධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා පැවසුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සිය සේවාදායකයා මෙරට ජාතික පුවත්පත් රූපවාහනි සහ ගුවන් විදුලි නාලිකාවලට මෙන්ම බී.බී.සී ලෝක සේවයට ද අදාළ ප්‍රවෘත්ති වාර්තා කිරීම හේතුවෙන් වින්දිත වෛද්‍යවරියට අගතියක් සිදුව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම්වරයා සහ තවත් වෛද්‍යවරයෙකු පැමිණිළි කර ඇති බව අනුරාධපුර පොලිසිය පැවසුවද අදාළ ප්‍රවෘත්ති නිසා තමන්ට අගතියක් සිදුව ඇති බවට වින්දිත වෛද්‍යවරිය මේ දක්වා පොලිසියට පැමිණිල්ලක් හෝ අවම වශයෙන් ප්‍රකාශයක් හෝ ලබාදී නොමැති බවයි. අදාළ පැමිණිලි කර ඇත්තේ බාහිර පාර්ශයන් විසින් බවද නීතිඥරවරයා කියා සිටියා.
වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් සිය සේවාදායකයා ප්‍රවෘත්ති වාර්තා කර ඇත්තේ මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කරමින් ඉතා වගකීමෙන් බවත් ඊට හේතුව සිය සේවාදායකයා වාර්තා කළ ප්‍රවෘත්තිවලින් වෛද්‍යවරිය සේවය කරන වාට්ටුව ඇගේ නම ගම වයස ජාතිය ආගම විවාහක අවිවාහක බව හැඩරුව දෙමව්පියන් හෝ පවුලේ තොරතුරු අනාවරණ කිරීමකින් තොරව බවත් පැවසූ නීතිඥවරයා එවැනි පසුබිමක් තුල තම සේවාදායකයා වාර්තා කල ප්‍රවෘත්ති හේතුවෙන් වෛද්‍යවරියට අගතියක් සිදු කර ඇතැයි පොලිසිය කියන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටියා.
සිය සේවාදායකයා මාධ්‍ය ආචාර ධර්මවලට ගරු කරමින් මෙම ප්‍රවෘත්තිය මෙරට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රැසකට මෙන්ම බී.බී.සී ලෝක සේවයට ද වාර්තා කර තිබෙන බවද පවසා සිටි නීතිඥවරයා මාධ්‍ය ආයතන පළ කළ සහ විකාශනය කළ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙන්නේ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව අධිකරණය නොමඟ යවමින් අනීතිකව බවද කියා සිටියා.
එය මුඑමනින්ම නීතියට පටහැනි බවත් පොලිසිය මෙම නියෝගය ලබාගෙන තිබෙන්නේ ප්‍රශ්නගත ප්‍රවෘත්ති මගින් අපරාධමය වරදක් සංස්ථාපනය වී නැති තත්වයක් තුල බවටද චෝදනා කළ නීතිඥවරයා පොලිසිය මෙම නියෝගය ගෙන තිබෙන්නේ වින්දිත වෛද්‍යවරියට අගතියික් සිදු වූවා යැයි කියන ප්‍රවෘත්තිය අධිකරණයවත් දැක නැති පසුබිමක් තුල බවද සඳහන් කළා.
මේ තුලින් පොලිසිය අධිකරණයේ හෘද ස්පන්දනය කම්පනයට පත් කර ප්‍රබල නෛතික අපගමනයක් සිදු කර අති බවද පවසා සිටි නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා මාධ්‍ය ආචාර ධර්මවලට ගරු කරමින් කිසිදු පාර්ශවකට අගතියක් සිදු නොවන අයුරින් තම සේවාදායාකයා වාර්තා කර ඇති ප්‍රවෘත්තිවලට අදාළ තොරුතුරු මූලාශ්‍ය ලබා ගත්තේ කෙසේද? ලබා දුන්නේ කවුරුන්ද? යන්න සිය සේවාදායකයාගෙන් ප්‍රශ්න කිරීම තුලින් පොලිසිය ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් සහ පුවත්පත් මණ්ඩල ආචාර ධර්ම පද්ධතිය මගින් තහවුරු කර ඇති මාධ්‍ය නිදහස බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත් වෙනත් පාර්ශවයක බලපෑමක් මත පොලිසිය මෙලෙස ක්‍රියා කර ඇති බවත් කියා සිටියා.
ඒ අනුව මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නා ලෙසත් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුලු වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටි ප්‍රතිශෝධන පෙත්සම මගින් සිය සේවාදායකයා එල්ල කර ඇති චෝදනාවන් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නියෝග කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අනුරාංධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සහ නීතිපතිවරයා ඇතු`එ පාර්ශව තුනක්.